Logo
2021 මාර්තු මස 5 වැනි සිකුරාදා

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්ට අභියාචනාධිකරණයෙන් නොතිසි





මාර්තු 10 වනදා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් ඇතුළු පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කර ඇත.

ඒ දිස්ත්‍රික් කෝටා ක්‍රමය සහ නව - පැරණි විෂය නිර්දේශවලට ලද වර්ගීකරණය මත පදනම්ව විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරිමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමකට අදාළවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවියක් ගොනු කර තිබූ පෙත්සම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල එම නියෝගය කර තිබේ.

පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් මෙන්ම නීතිපතිවරයාට ද නොතීසි නිකුත් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ ය.

2019 වසරේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට වෛද්‍ය පීඨයට ඇතුළුවීමට සිටි තමන්ට මෙම නව ක්‍රමවේදය මගින් අසාධාරණයක් සිදුවී ඇති බව පෙත්සම්කාරිය  පෙන්වා දී ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'