Logo
2020 අප්‍රේල් මස 5 වැනි ඉරිදා
Loading...

චීනයේ සහ කොරියාවේ කොරෝනා පැතිරයාමේ වේගය අඩාල වෙයි



කොරෝනා ව්‍යාප්තියෙන් මීට පෙර වැඩිම බලපෑමක් ඇතිව තිබූ දකුණු කොරියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන අගයකින් පහලයමින් පවතියි.

රජය පවසන්නේ, දකුණු කොරියාව නව කොරෝනා ව්‍යාප්තියේ උපරිම අගය මේ වන විට පසුකර ඇති බවයි.

එරටින් දැනට වාර්තාවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7 300ක් වන අතර මරණ සංඛ්‍යාව 50ක සීමිත අගයක පවතියි.

මේ අතර දකුණු කොරියානු පුවත් වාර්තා පවසන්නේ නව කොරෝනා ව්‍යාප්තියෙන් උතුරු කොරියානු හමුදා සෙබලුන් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි.

තවත් 4000ක පිරිසක් ද එරටදී නිරෝධායනයට යොමුකර ඇති බවට මේ වාර්තා වැඩිදුරටත් පැවසුවත්, උතුරු කොරියාව මෙම වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

මේ අතර චීනය තුළ නව කොරෝනා මරණ අවම වී ඇති පසුබිමක පසුගිය ජනවාරි මස 20වැනිදායින් පසුව එරටින් වාර්තා වූ අවම මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා විය.

ඒ මරණ 40ක් ලෙසයි.

රට පුරා කොරෝනා වෛරසයේ බලපෑම පහළ යමින් පැවතියත්, තවදුරටත් වඩාත් අවධානයෙන් කාලය ගතකිරීමට චීන බලධාරීන් පියවර ගනිමින් සිටියි.

ඒ වෛරස ව්‍යාප්තිය පාලනයට චීනය ගත් දැඩි සහ සාර්ථක පියවර ලෝකයේ ඇගයීමට ලක්ව ඇති පසුබිමකදීයි.

මේ අතර රට තුළට පැමිණෙන සියලුම සංචාරකයින් දින 14ක නිරෝධායන කාලයකට යටත්කිරීමට ඊශ්‍රායලය තීරණයකර තිබේ.

රටතුළ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගත් බව අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු මෙහිදී අවධාරණය කර ඇත.

නව කොරෝනා ව්‍යාප්තියෙන් මැදපෙරදිග කලාපයේ වැඩිම බලපෑමට ලක්වූ රාජ්‍යය වන ඉරානයෙන් ගතවූ දිනයේදීත් පුද්ගල මරණ 43ක් වාර්තා වී ඇත්තේ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 237 දක්වා ඉහළ යමින්.

රටපුරා ආසාදිතයින් 7161දෙනෙක් වාර්තා වීම  සලකා එරට සිරගතව සිටි 70 000ක් ඉක්මවූ රැදවූවන් පිරිසක් නිදහස් කිරීමටද රජය පියවර ගෙන තිබේ.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් මේ වනවිට එල්ල වී ඇත්තේ ඉතාලිය වෙතයි.

ගතවූ දිනයක කාලයකදී පමණක් එරටින් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව සියය ඉක්මවූයේ සමස්ත මරණ සංඛ්‍යාව 366 සිට 463 දක්වා ඉහළ දමමින්.

පවතින වඩාත් අවදානම් සහගත පරිසරය සලකා සමස්ත ඉතාලිය රාජ්‍යයටම හදිසි තත්ත්වයක් නම් කිරීමට අගමැති ගුසෙප් කොන්ටෝගේ රජය තීරණය කර තිබේ.

මේ සමගින්ම සමස්ත ඉතාලියටම ගමනාගමන සීමා ද පැනවීමට නියමිතයි.

එමෙන්ම රටේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල ලබන අප්‍රේල් මස 03වැනිදා දක්වා වසදමා ඇති අතර මඟහැරීමට නොහැකි වෘත්තීය හෝ පෞද්ගලික කටයුත්තක් ඇති පිරිස් වෙත පමණක් සංචාරය සදහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබුණි.

එමෙන්ම එරට කලාප 20කින් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව නව දහස ඉක්මවා තිබේ.

පවතින අවදානම සලකා රටපුරා පුද්ගල ඒකරාශීවීම් තහනම් කිරීමටද, ජනතාවට හැකිතාක් කාලයක් නිවෙස් තුළ රැදී සිටීමටද උපදෙස්දීමට ඉතාලි රජය කටයුතු කළේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ දිනයේදී අවධාරණය කර සිටියේ, නව කොරෝනා ව්‍යාප්තිය ලෝක වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම, යථාර්ථයක් බවට පත්වෙමින් ඇති බවයි. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'