Logo
2020 අප්‍රේල් මස 3 වැනි සිකුරාදා
Loading...

සජින් ද වාස් වැලිකඩට



පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී  රුපියල් කෝටි 30 කට අධික දේපළ හා මුදලක් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

මෙම නඩුවේ සාක්ෂි විභාගය අද (27) ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කළේය.

මේ හේතුවෙන් විත්තිකරු ඇප මත සිටියහොත් ඒ මගින් සාක්ෂි විභාගයට බලපෑමක් සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද රජයේ නීතීඥවරයා අද ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාව ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස රුපියල් තිස් කෝටියකට අධික වත්කම් හා මුදල් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'