Logo
2020 අප්‍රේල් මස 3 වැනි සිකුරාදා
Loading...

කොරෝනා මරණ 2359 දක්වා ඉහළට-දකුණු කොරියාවත් අනතුරේ



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන්  සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 2,359 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් බහුලව වාසය කරන තේගු නගරය ඇතුළු නගර දෙකක් වෛරසය සම්බන්ධ අවදානම් කලාප ලෙස නම් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වන විට 77,000 ඉක්මවා ඇත.

මරණ සංඛ්‍යාව 2359ක් දක්වා ඉහළ ගොස් ඇති අතර චීනයෙන් පිටතින් වාර්තා වන මරණ ගණන 11ක්.

ගතවූ පැය 24 තුළ චීනයෙන් වාර්තා වූ නව මරණ ගණන 109ක්.

සුවය ලැබූ ගණන 20,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙවන් පසුබිමක දකුණු කොරියාවේ ආසාදිතයින් ගණන ක්ෂණික ඉහළ යාමක් පෙන්නුම් කරන අතර ආසාදිතයින් ගණන 346 දක්වා ඉහළ ගොස් ඇත.

ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 142 දෙනෙකු ඒ අතරට එක්වුණි.

වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 02 ක් දකුණු කොරියාවෙන් වාර්තා වෙයි.

තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මෙය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

එමෙන්ම තේගු සහ චෙන්ග්දෝ යන නගර විශේෂ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

එම නිවේදනයත් සමග තේගු නගරයේ මාර්ග හා පොදු ස්ථාන විශාල වශයෙන් ජනශුන්‍ය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ නගරවල නිරෝධායන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

එමෙන්ම හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග සියලු හමුදා කඳවුරු වසාදමා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාව තුළ මෙලෙස ක්ෂණික ආසාදිතයින්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබුණේ තේගුහි ෂින්චොන්ජි ආගමික සංවිධානයේ සාමාජිකත්වය දරන විශාල පිරිසක් අවමංගල්‍යයක් සඳහා සහභාගි වීමෙන් අනතුරුවයි.

එරටින් වාර්තා වන ආසාදිතයින් 346 අතරින් 169 දෙනෙකුම එම අවමංගල්‍යය සඳහා සහභාගි වූවන් වන අතර තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංවිධානයේ දහසකට වැඩි පිරිසක් නිරෝධායන කටයුතු සඳහා යොමු වී සිටියි.

එමෙන්ම දකුණු කොරියාව තුළ ෂින්චොන්ජි ආගමික සංවිධානයේ සාමාජිකත්වය දරන 9300 ක් පමණ පුද්ගලයින් ස්වෙච්ඡාවෙන්ම පරීක්ෂණ සඳහා යොමු වීමට ඉල්ලීම් කර ඇතැයි එරට සෞඛ්‍ය හා සමාජ සුබසාධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ වනවිට අදාළ ආගමික සංවිධානයේ තේගුහි ශාඛාවද වසදමා ඇත.

මේ අතර ලෙබනනයෙන් සහ ඊශ්‍රායලයෙන්ද පළමු වරට නව කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි.

ඒ අතර ඉතාලියේ පළමු මරණය වාර්තා වන අතර එරට සමස්ත ආසාදිතයින් ගණන 21 දක්වා ඉහළ ගොස් ඇත.

ඉරානයෙන් ආසාදිතයින් ගණනද 18 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරට සෞඛ්‍යය බලධාරීන් පවසන්නේ වෛරසය දැනටමත් "ඉරානයේ සියලුම නගරවල" ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවයි.

චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ පැතිර යාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව තිබෙන අතර වෛරසය පැතිර යාම පාලනය කිරීමට ලැබූ ඉඩ ප්‍රස්ථාව පටු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'