Logo
2020 අප්‍රේල් මස 9 වැනි බ්‍රහස්පතින්දා
Loading...

අදත් කොළඹදී විරෝධතා - පොළීසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයි



උද්ඝෝෂණයක නිරතවූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවූ සේවකයන් පිරිසක් සහ පොලිසිය අතර අද උණුසුම් තත්වයක් ඇති වුණි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදීය.

ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දී තිබුණේ කිසිඳු විරෝධතාකරුවෙකුට පහර දීමක් සිදු නොකරන ලෙසයි.

වැටුප් පිළිබඳ සහ රැකියා ස්ථිර කිරීම ඇතුලු ඉල්ලීම් මුල්කර ගනිමින් වෘත්තිය සමිති කණ්ඩායම් සහ පාර්ශ්ව කිහිපයක් අදත් කොළඹදී විරෝධතා සංවිධාන කර තිබුණි.

කිසිඳු විරෝධතාකරුවෙකුට පහර නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බවත්,මහජනතාවට අවහිරයක් නොවන පරිදි සිය විරෝධතා පවත්වන ලෙස ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිසක් කොළඹ උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට අද විරෝධතා පා ගමනකින් පැමිණියේ එවන් පසුබිමකයි.

විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාම වැළැක්වීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.

පසුව ගැටලු සාකච්ඡා කිරීමට ඔවුන් අතුරින් 10 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවස්ථාව හිමිවුණි.

මේ අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ද කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා අද විරෝධතා පාගමනකින් පැමිණියේය.

ඒ , ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ආබාධිත ,විශ්‍රාමික රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට දිවි ඇති තෙක් වැටුප් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින්ය.

ඔවුන් අතරින් පස්දෙනෙකුට ද සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවස්ථාව හිමිවුණි.

ඒ අතර තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයද අද කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණේ සිය ගැටලු කඩිනමින් විසඳන්නැයි ඉල්ලමින්ය.

ෆාමේස් ආයතනයේ ව්‍යාපාර කටයුතු අසාධාරණ ලෙස තහනම් කළ බවට චෝදනා කරමින් එහි සේවකයන් අද උද්ඝෝෂණයක නිරත වූයේ අරලිය ගහ මන්දිරය අසලයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'