Logo
2020 පෙබරවාරි මස 28 වැනි සිකුරාදා
Loading...

මව්ලවිගෙන් ජනපති කොමිසමේ පරස්පර ප්‍රකාශ



පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි විමසීම අදත් සිදුවුණි.

එහිදී සාක්ෂි ලබාදුන් මාවනැල්ල ප්‍රදේශයේ මවුලවීවරයෙක් පරස්පර ප්‍රකාශ ලබාදීම නිසා කුරාණය මත දිවුරා සාක්ෂි ලබාදෙන්නැයි කොමිසම ඔහුට කියා සිටියේය.

 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද  මාවනැල්ලේ මවුලවීවරයෙක් යැයි කියන මොහොමඩ් කලීල් මොහොමඩ් රිස්වාන් නැමැත්තායි.

මවුලවීවරයෙක් වන්නේ කෙසේදැයි කොමිසම ප්‍රථමයෙන්ම ඔහුගෙන් විමසා සිටියි.

මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් පවත්වනු ලබන විභාගයක් සමත්වීමෙන් පසු මවුලවීවරයෙක් විය හැකි බව එහිදී සඳහන් කළ සාක්ෂිකරු කියා සිටියේ තමන් අදාළ විභාගයට පෙනී සිට නොමැති බවයි.

එබැවින් මවුලවිවරයෙක් සතුවිය යුතු සහතිකයක් තමාට නොමැති බවද ඔහු එහිදී කියා සිටියේය.

සාක්ෂිකරු ඉකුත් ජනවාරි මාසයේදී ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයට ලබාදුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහිදී කොමිසම විමසා සිටියේය.

ඒ මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරිමේ සිද්ධියේ සැකකරුවෙක් වන ෆවුශාන් නැමැත්තා සහරාන් හෂිම් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා එක්ව කටයුතු කරන බවට දැනගත් පසු සිය පල්ලියේ දායක සභාවට ඔහුව කැඳවා, අවවාද කළේ යැයි සාක්ෂිකරු මීට පෙර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳවයි.

ඒ පිළිබඳ අද කරුණු විමසීමේදී මොහොමඩ් රිස්වාන් පැවසුවේ අදාළ තරුණයා පල්ලියේ දායක සභාව වෙත කැඳවූයේ ඔහු වැරදි මඟ යාම නිසා වුවත් ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග එක්ව වැඩ කළ නිසාවෙන් නොවන බවයි.

සාක්ෂිකරුගේ ප්‍රකාශ පරස්පර වීම නිසා කුරාණය මත අත තබා අසත්‍ය නොපවසන බවට දිවුරා සාක්ෂි ලබාදෙන්නැයි ජනාධිපති කොමිසම කියා සිටියේය.

එහිදී ඔහු කුරාණය මත අත තබා ප්‍රකාශ කළේ අදාළ තරුණයා පල්ලියේ දායක සභාව වෙත කැඳවුයේ ඔහු වැරදි මඟ ගිය නිසාවෙන් පමණක් වන බවයි.

කෙසේවෙතත් ඔහු අවස්ථා දෙකකදී ලබාදුන් ප්‍රකාශ පරස්පර වීම නිසා කොමිසම එය පරස්පර සාක්ෂියක් ලෙස සටහන් කර ගනු ලැබුවේය.

පැය එකහමාරක පමණ කාලයක් සාක්ෂි දුන් ඔහු කොමිසමෙන් පිටව ගියේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'