Logo
2020 පෙබරවාරි මස 21 වැනි සිකුරාදා
Loading...

කොරෝනා ව්‍යාප්තකරන අයට මරණ දඬුවම



මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් අද (09) වනවිට ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 813ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

එය 2003 වසරේ සාර්ස් වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා යාමක්.

නව කොරෝනා නියුමෝනියාව හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ ගණන, 2003 වසරේ බලපෑ සාර්ස් වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ ගණන ඉක්මවා ගොස් තිබේ.

සාර්ස් වෛරසයෙන් ලොවපුරා 774ක් මියගිය අතර නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන අද වාර්තා වුණේ, 813ක් ලෙසයි.

ආසාදිතයින් ගණන 37,500 ඉක්මවා තිබියදී ඒ අතරින් 2649 දෙනෙකු සුවය ලබා තිබීමත් විශේෂත්වයක්.

චීන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ සුවය ලැබූ පුද්ගලයින්ට  එය යළි ආසාදනය වීමේ ඉඩක් පවතින බවයි.

මියගිය බහුතරය වයෝවෘද්ධ සහ කායික වශයෙන් දුර්වල අය බව වාර්තා වන පසුබිමක හුබෙයි පළාතේ සිටි 91 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු සුවය ලබා ඇතැයි චින මාධ්‍ය අද වාර්තා කළේය.

වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි වූහාන් නගරය වසා දමා අදට දින 16ක්.

පවතින තත්ත්වය තුළ සෑම අයෙකුම නිරෝධායනයට ලක්කිරීම චීන රජය විසින් අනිවාර්ය කර තිබෙන්නේ දැඩි නීති රීති පනවමින්. 

ඒ අනුව නිවාසවල සැඟව සිටි ඇතැම් පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යාමට චීන රජය පියවර ගෙන තිබුණි.

වෛරසය පාලනය සඳහා චීනය දැඩි නීති පනවා ඇත්තේ, මරණ දඩුවමට පවා යටත් කරමින්. 

රෝගය පිළිබඳ ව්‍යාජ තොරතුරු පතුරුවන්නන්ට වසර 15 ක සිරදඬුවමක් හා සිතාමතා වෛරසය ව්‍යාප්ත කරන පුද්ගලයින්ට මරණ දඬුවම පැනවීමටද චීනය තීරණය කර තිබේ.

මේ අතර වූහාන්හි මාස 06 ක් වයසැති බිළිඳෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග, දරුවා මවගෙන් වෙන්කර හෙදියන් භාරයට පත්කර ඇති අයුරුයත් වාර්තා විය. 

වෛරසයෙන් පීඩාවටත් පත් වූහාන්හි ජනතාව වෙනුවෙන් ලබාදීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින්ගේ නියෝග මත මෙට්‍රික් ටොන් 23ක මානුෂීය ආධාර ගුවන් මගින් ලබාදීමට රුසියානු හමුදාව පියවර ගෙන තිබේ.

2003 වසරේදී සාර්ස් වෛරසය පැතිර යනවිට චීනය ලෝක ආර්ථිකයේ 6 වැනි ස්ථානයේ පසුවු අතර වසර 17කදී ලෝකයේ දෙවැනි බලවත්ම ආර්ථිකයට හිමිකම් කීමට චීනය සමත් විය.

මෙම නව වෛරසය පැතිර ගියේ චීනය ඉහළ ආර්ථික වර්ධන වේගයකට ළඟා වෙමින් සිටියදීයී.

මෙම නව වෛරසය අමෙරිකාව විසින් චීනය අඩපණ කිරීම සඳහා භාවිත කළ ජෛව විද්‍යාත්මක අවියක් බවට රුසියානු විශේෂඥයින් පිරිසක් පසුගියදා අනාවරණ කර තිබුණි.

නමුත්, ඊට ප්‍රතිචාර දක්වන යුරෝපීය සහ අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ, වූහාන්හි පිහිටි වෛරස පිළිබඳ අත්හදා බැලීම් කරන විද්‍යාගාරයක අතපසුවීමකින් නව වෛරසය බාහිර පරිසරයට මුදාහැර ඇති බවයි.

චීනය මුල්කර ගනිමින් අමෙරිකානු සහ රුසියානු මාධ්‍ය අතර ගැටුම තවදුරටත් තීව්‍ර කරන සිදුවීමක් ඊයේ (08) වාර්තා විය.

ඒ,අමෙරිකානු ජනාධිපතිවරයාගේ වුවමනාවක් මත වෛරසය ව්‍යාප්ත කර ඇතැයි හැඟවෙන ආකාරයෙන් රුසියාවේ ප්‍රධාන පෙළේ නාලිකාවක් වැඩසටහනක් විකාශය කිරීමත් සමගයි.

කොරෝනා යනු රුසියානු හා ලතින් බසින් ඔටුන්න යන අර්ථය දෙන අතර අමෙරිකානු ජනාධිපතිවරයා ඔටුන්නක් අතැතිව සිටින අයුරුත්, වෛරසය හිස පැළැන්දූ රූ රැජිණක් ජනාධිපතිවරයා සමග සිටිනු අයුරුත් එහි නිරූපණය කර තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ අමෙරිකානු වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් මේවනවිට චීනය වෙත යාමට අපේක්ෂාවෙන් සිටියත් චීනය තවමත් ඊට ප්‍රතිචාරයක් ලබාදී නැත.

චීනයට අමතරව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන ජපානයේ ආසාදිත සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ජපානයේ යොකොහෝමා වරායේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සිටි තවත් 06 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වීමත් සමගයි.

මේ අතර විදේශයන්ගේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්,සංචාරකයින් සහ රැකියාව සඳහා පැමිණි පුද්ගලයින් 1600 දෙනෙකුගේ පමණ සෞඛ්‍ය තත්ත්වයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් පසුවිපරමකට ලක්කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'