Logo
2020 පෙබරවාරි මස 22 වැනි සෙනසුරාදා
Loading...

‍වෛරසය ආසාදිත වු චීන කත නවාතැන් ගත් අහුන්ගල්ලේ හෝටලයේ සිටි සේවිකාවක් රෝහල් ගත කරයි



කොරෝනා වෛරසය ආසාදිත වූ චීන ජාතික කාන්තාව ඉකුත් 24 වැනිදා නවාතැන් ගෙන සිටි බවට වාර්තා වූ අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයක සේවිකාවක් අද(28) පස්වරුවේ රෝහල් ගතකර තිබේ.

ඒ රෝග ලක්ෂණ අනුව කොරෝනා ආසාදිතයෙකු ද යන්න සැකය මතයි.

මේ අතර, මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය ගණන 106 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගත වූ පැය 24 තුළ ආසාදිතයින් සංඛ්‍යාව සියයට 61කින් වර්ධනය වී ඇති බවයි. 

ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා වෛරස ආසාදිතයා චීන කාන්තාවක් වූ අතර දින අටක් මෙරට ගතකර ඇති ඇය ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබේ.

මේ අතර මෙරට චීන තානාපති කාර්යාලය තම රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, හුබෙයි පළාත ඇතුළු වසංගත රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට සැළසුම් කර ඇති සංචාරකයින්ට එම සැළසුම් කල් දමන ලෙස හෝ අවලංගු කරන ලෙසයි. 

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වු මෙරට පළමු රෝගියා ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබීය.

43 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වු ඇය පසුගිය 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තවත් කණ්ඩායමක් සමඟයි.

මෙරට සංචාරයක නිරත වූ එම කණ්ඩායම  සීගිරිය , මහනුවර , නුවරඑළිය , මීගමුව, අහුංගල්ල යන ප්‍රදේශවල සංචාරය කර ඇති බව පැවසෙයි.

දින 8ක් මෙරට රැදී සිටි ඇය නැවත දිවයිනෙන් පිටත්ව යාම සඳහා ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පැමිණ තිබේ.

මෙහිදී උණ රෝගයකින් පෙළෙන බව හඳුණාගැනීමත් සමග ඇය වහාම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරුණි.

එහිදී තහවුරු වී ඇත්තේ, ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 

මේ වන විට   පූර්ණ අධීක්ෂණය යටතේ අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ ජීව සාම්පල විදෙස් පරික්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිතව තිබේ.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'