Logo
2020 පෙබරවාරි මස 22 වැනි සෙනසුරාදා
Loading...

අල්ලස් ගත් හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10ක සිරදඬුවමක්



රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු  හිටපු නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවම් නියම කළේය.

නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි නිසංසලා ස්වර්ණමාලි නමැත්තියකට මෙසේ දඬුවම් නියම වුණි.

ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කරන බව ද තීන්දුවේ සඳහන් කළේය.

එමෙන්ම විත්තිකරු විසින් රුපියල් ලක්ෂ දෙකක දණ්ඩනයන් ද ගෙවිය යුතු බවත් එම දණ්ඩන මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත එක් වසරක සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණි.

2016 වසරේ ජුනි මස 01 වනදා සහ එම වසරේ ජූලි මස 01 වනදා අතර කාලසීමාව තුළ   නිකවැරටිය ප්‍රදේශයේ පාසලක සේවය කරන අභ්‍යාසලාභී ගුරුවරයෙකුගේ සේවය ස්ථිර කිරීම සඳහා විත්තිකාර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

පසුව එම මුදල අදාළ ගුරුවරයාගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විත්තිකාරියට එරෙහිව නඩු පැවරූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා හතරම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.
 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'