Logo
2020 සැප්තැම්බර් මස 30 වැනි බදාදා

අධිකරණය පිරිසිදු කිරීම අගවිනිසුරුගේ වැඩක්-මහින්ද





අධිකරණ පද්ධතිය කෙරෙහි බිඳවැටී ඇති ජනතා විශ්වාසය යළි ඇති කිරීම සඳහා කටයුතු කිරීමට අගවිනිසුරුවරයා පියවර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ අද පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර හමුව අද පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කොටස්වෙළඳපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් සමඟ අද සාකච්ඡාවක නිරතවුණි.

කඩාවැටී ඇති කොළඹ කොටස්වෙළඳපොල නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා කඩිනමින් රජය මැදිහත් වන බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

පසුගිය වසර හතරහමාරක කාලය තුළ කොළඹ කොටස්වෙළඳපොල බරපතළ ලෙස කඩාවැටීමකට ලක්වී ඇති බැවින් කොටස් තැරැව්කාර සමාගම් බොහෝ ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ,ඒවායේ සේවය කළ බොහෝ පිරිසකට රැකියා අහිමි වූ බවත් එම නියෝජිතයින් මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

කොළඹ කොටස් වෙළදපොල ගනුදෙනු සීඝ්‍රයෙන් ඉහළනංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහාත් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනයන් සඳහා යොමු කළ යුතු බව මෙහිදී තැරැව්කාර සමාගම් පෙන්වා දුන් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේය.

පසුගිය වසර හතරහමාරක කාලය තුළ වසර පහළොවක පමණ කාලයක් ආපස්සට ගියා සේ මෙරට ආර්ථිකය විනාශ වූ බවත් එය නැවත යථා තත්ත්වයට පත්කිරීම වත්මන් රජය කඩිනම් වැඩපිළිවෙලක් දියත් කරන බවත් ඒ යටතේ කොළඹ කොටස් වෙළඳපොල වර්ධනය කිරීමේ වැඩපිළිවෙල මූලිකත්වය ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'