Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

සජිත් කැලේ පනිද්දී කරූට නායකත්වය





ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කතානායක කරු ජයසුරියගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි වාර්තාවේ.


එජාප නායකයා එවැනි තීරණයක් ගෙන ඇත්තේ ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් කළ යෝජනාවකට අනුවය. නායකත්ව මණ්ඩලයක් ඇති කොට එජාපයේ බෞද්ධ පදනම වර්ධනය කළ හැකි කරු ජයසූරියට එහි ප්‍රධානත්වය භාරදිය යුතු බවට එම ජ්‍යෙෂ්ඨයින් පිරිස යෝජනා කර ඇත.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහට සහ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසට ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට නායකත්වය භාර දෙනවා වෙනුවට නායකත්ව මණ්ඩලයක් ඇති කොට මැතිවරණයට ඉදිරිපත් වීම පක්‍ෂයට වාසිදායක බව ඔවුනගේ අදහස් වී තිබේ.

එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස්දෙනකු පමණ අද (13) 'සිරිකොත' එජාප මූලස්ථානයේදී මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි.

දෙපාර්ශයේ නියෝජිතයින්ගේ සාකච්ජා බිඳ වැටේ !

එජාපයේ නායකත්ව ගැටුම සමතයකට පත්කර ගැනීම සඳහා රනිල් -සජිත් දෙපාර්ශවයේ නියෝජිතයින් ගෙන් සමන්විතව පත්කරන ලද කමිටුවේ පළමු සාකච්ජාවේ දී බහුතරයක් විසින් තීන්දු කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවයි. 

දෙසැම්බර් 11දා පැවති එම සාකච්ජාවට රනිල් වික්‍රමසිංහ නියෝජනය කරමින් වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල හා ආශු මාරසිංහ සහභාගී වූ අතර සජිත් ප්‍රේමදාස නියෝජනය කරමින් ඊට එක්ව සිටියේ මලික් සමරවික්‍රම, රන්ජිත් මද්දුම බණ්ඩාර හා තලතා අතුකොරලයි.

එම කමිටුවේ තීන්දුව රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දීම ලක්ෂ්මන් කිරිඇල්ල විසින් බාරගෙන තිබු අතර කරු ජයසුරිය සම්බන්ධ යෝජනාව රනිල් පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවය. 


''එජාපයට ගම් මට්ටම බිම් මට්ටම තේරුම් ගන්න පුළුවන් නායකයෙක් ඕන'' – මරික්කාර්


මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසන්නේ, එක එක නායකයන්ට, චරිතවලට ගැති නොවී, වහල් නොවී, පාක්ෂිකයන්ගේ හැඟීම් දැනීම් එක්ක කටයුතු කිරීමට හැකිවන කෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තෝරාපත් කර ගනිමින් ඔහුගේ නායකත්වය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට  වගබලාගත යුතු බවයි. 

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අත්දැකීම් බහුල පරිණත නායකයකු පත්විය යුතු බවට පෙරේදා (11) පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ පැවැසීය.

‘දේශපාලනඥයන්ට ජනතාවගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමට හැකියාවක් තියෙන්න ඕන. ඒ නිසා එජාපය යළි නඟා සිටුවා ගම් මට්ටමට, බිම් මට්ටමට ගෙනියන්න නම් ජනතාව තේරුම් අරගෙන ජනතාව ඉල්ලන දේ කරන්න ඕන.”






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'