Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

ධම්ම දිසානායක ඇඹිළිපිටිය නගර සභාවට අනතුරු අඟවයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ කටයුතු මාස තුනක කාලයක් අර්බූදයකින් තොරව එකඟත්වයෙන් පවත්වාගෙන යාමට නොහැකි වුවහොත් එහි පාලනය ලේකම්වරයකු යටතට පත්කිරීමට සිදුවන බැවින් එසේ නොවන තැනට පවත්වාගෙන යාමට එම නගර සභාවේ සභිකයන් සමග අද (21) දහවල් එකඟතාවකට පැමිණි බව සබරගමු පළාත් ආණ්ඩුකාරවර ධම්ම දිසානායක මහතා පැවසුවේය.

සභාපතිවරයා සිය අභිමතය පරිදි කටයුතු කරමින් ඇඹිලිපිටිය නගර සභාව අත්තනෝමතිකව පාලනය කරන නිසා ගැටලු පැන නැගී ඇති බව පවසමින් මේ වනවිට එහි පාලනය සම්බන්‍ධයෙන් අර්බුදයක් හටගෙන තිබේ.

සභිකයන් අතර ඇති මේ අර්බූදය නිසා පෙරේදා (20) මාසික රැස්වීම පැවැත්වීමට නොහැකිව විශාල කලබලයක් ඇතිවූ බවත් ඒ තත්ත්වය මත සභාවේ පාලනය ගෙනයාමට බැරි බව පෙනී ගිය බවද ආණ්ඩුකාරවරයා පැවසුවේය.

ඒ හේතු මත අද (21) ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ පක්‍ෂ විපක්‍ෂ සභිකයන් 13 දෙනාම සබරගමු පළාත් ආණ්ඩුකාරවර ධම්ම දිසානානායක මහතා හමුවට සාකච්ඡාවකට කැඳවා තිබුණි.

ඒ අනුව ආණ්ඩුකාරවයා, පළාත් ප්‍රධාන ලේකම්වරිය, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරිය පළාත් පාලන කොමසාරිස්වරයා සහ සහකාර පළාත් පාලන කොමසාරිස්වරු දෙදෙනා සහ සභිකයන් දහතුන් දෙනා අතර සාකච්ඡාවක් රත්නපුර නව නගරයේ ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පැවැත්විය.

එසේ තිබියදී තවදුරටත් අර්බුද නිසා නගර සභා බලප්‍රදේශයේ පවුල් විසිදහසක ජනතාවකගේ පොදු අවශ්‍යතා ඉටුකිරිමට එහි පාලනය අසමත් වුනොත් පාලනය තමන් අතට ගන්නට සිදුවන බව සභිකයන් සියලු දෙනාටම තමන් දැන්වූ බවද ආණ්ඩුකාරවරයා කීවේය. එවිට ඇඹිලිපිටිය නගර සභාවේ පාලනය ලේකම්වරයෙකු යටත පත්කර ජනතා වුවමනාවන් ඉටුකිරිමට සිදුවන බවද ආණ්ඩුකාරවරයා කීවේය.

කෙසේ වෙතත් ඇතැම් සභිකයන්ගේ චෝදනා සම්බන්‍ධයෙන් විමර්ශන අරඹා ඇති නිසා මාස තුනක කාලයක් යනතුරු ගැටලු ඇති කර නොගෙන සභාවේ පානය ගෙනයාමට අවසානයේ සභිකයන් දහතුන් දෙනාම එකඟවූ බවද ආණ්ඩුකාර දම්ම දිසානායක මහතා පැවසුවේය.

ප්‍රාදේශීය ආණ්ඩු සම්බන්‍ධයෙන් ව්‍යස්ථාමය තත්ත්වයන් මෙන්ම අතුරු ව්‍යවස්ථාවන් ගැන අවබෝධයක් නොමැතිකම මේ ගැටලුවලට හේතුව බව සභිකයන් සමග සාකච්ඡාවේදී පෙනීගිය බවද ආණ්ඩුකාරවරයා කීවේය.

2012 සංගණනයේදි නගරසභා සීමාවේ මුලු ජනගහණය 58351ක් විය. 2018 පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇඹිලිපිටිය නගර සභා බල සිමාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන 29357ක් විය. ඉන් 23711ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. ඡන්ද 13956ක් ලබාගත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ඡන්ද කොට්ඨාස අටේම බලය හිමි කරගත්තේය.

එක්සත් ජාතික පක්‍ෂයට ඡන්ද 4813ක්, ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 2338ක්ද එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්ද 1409ක් ද හිමිවිය.

මේ අතර ඇඹිලිපිටිය නගර සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභිකයන් දෙපිළකට බෙදීමට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපලනඥයෙක් ක්‍රියාකරන බවට පොදුජන පෙරමුණට සම්බන්‍ධ තවත් පිරිසක් චෝදනා කරයි.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය නම් කළ හොත් මහඇමැති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සම්බන්‍ධයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයින් අතලොස්සක් අතර ඇති මතභේදය ඇඹිලිපිටිය නතර සභාවේ අර්බුදයට හේතුවී ඇති බවද සඳහන් ය.

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'