Logo
2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා

කොළඹ අධිකරණයෙන් නීතිපති දප්පුලද ලිවේරාට කනේ පහරක්



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනීමැරුම් සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අද(09) ඇප මත මුදා හැරියේය.

අදළ නියෝගය ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේ, යම්කිසි පුද්ගලයෙකුගේ නොසලකා හැරීමක් මෙම සැකකරුවන් දෙදෙනා වෙත යොමුකළ නොහැකි බවයි. 

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොකළ බන්ධනාගාර නිලධාරින් ඔවුන් රෝහල්ගතව සිටින බව වෛද්‍ය වාර්තා මඟින් අධිකරණයට තහවුරු කළේය.

මෙහිදී ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කර සිටියේ ජනාධිපති පරීක්ෂණ මණ්ඩලය හමුවේ ඉදිරිපත් වූ කරුණු මෙම නඩුවට අදාළ කරගැනීම අපහසු බවයි.

මිනීමැරුම් වැනි බරපතළ චෝදනා  එල්ල කරනු ලබන අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරුවන්ගේ ද ප්‍රකාශ ලබා ගැනීම සිදුකළ යුතු වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැන්නක් සිදුකර නොමැති බව මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදි ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව දැක්වෙන ලිපි කිහිපයක්ම සැකකරුවන් වෙත යොමු කර තිබුණද එම කිසිදු ලිපියක ඉතාම ආසන්න දිනයකදී එම ප්‍රහාරය එල්ල වන බවට කරුණු දක්වා නොතිබූ බවයි.

එමෙන්ම තහවුරු කළ තොරතුරු අදාළ ලිපිවල ඇතුළත් නොවීම මත මෙම සැකකරුවන් එය වැළැක්වීම සඳහා පියවර ගන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

මහේස්ත්‍රාවරිය පෙන්වා දුන්නේ, ප්‍රහාරය එල්ල වූ දින පෙරවරු 08.46 ට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා විසින් එල්ල වීමට නියමිත ප්‍රහාරය පිළිබඳව තොරතුරු මෙම සැකකරුවන් දෙදෙනා වෙත වට්ස් ඇප් මාර්ගයෙන් අනාවරණය කර තිබූ බව පැමිණිල්ල විසින් සඳහන් කර තිබුණ ද මෙවැනි තොරතුරු වඩා විධිමත්ව සන්නිවේදනය කිරීමට හැකියාව තිබූ බවයි.

වට්ස්ඇප් වැනි විවේකී අවස්ථාවල පණිවිඩ පරික්ෂා කරන මාධ්‍යයක් හරහා මෙවැනි අතිශය වැදගත් තොරතුරක් යොමු කිරීම කොතරම් ප්‍රායෝගිකදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය එම පණිවිඩය ලැබෙන අවස්ථාව වන විටත් මරාගෙන මැරෙන පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වී ජීවිත හා දේපළ හානි සිදු වූ තිබූ හෙයින් සැකකරුවන් දෙදෙනා ඒ කෙරෙහි අවධානය යොමු කළ බව ඔවුන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණුවලින් පෙනී යන්නේ යැයි ද කියා සිටියේය.

මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබීම සහ එය වළක්වා ගැනීමට මෙම සැකකරුවන් දෙදෙනාම සියයට සියයක් නිවැරදි පියවර ගෙන ඇති බව පෙනී නොයන නමුත්, ඔවුන්ගේ නොසැලකිල්ල හරහා මිනීමැරුම් සිදු වූ බවට තහවුරු කළ හැකි කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේය.

ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතළ ආරක්ෂක ලේකම්වරයා වෙත හිමි නොවන බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය යම්කිසි පුද්ගලයෙකුගේ නොසලකා හැරීමක් මෙම සැකකරුවන් දෙදෙනා වෙත යොමු කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම පැමිණිල්ල සඳහන් කරන ආකාරයට නොසැලකිල්ල සහ රාජකාරිය පැහැර හැරීම මත මෙම සැකකරුවන් දෙදෙනා විසින් මිනීමැරුම් සහ බරපතළ දේපළ හානි සිදු කිරීමට ඉඩ හැර ඇති බවට තහවුරු කරන සාක්ෂි තමන් හමුවේ ඉදිරිපත් වී නොමැති බව මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේය.

මෙම චෝදනාවල ස්වභාවය සලකා බැලීමේදී ඇප දීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතු බවට බැඳීමක් තමන්ට නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින බව තීන්දු කළේය.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, ඔවුන් රෝහලින් පිටව යාමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙසත් නියෝග කළේය.

මෙහි වැඩිදුර නඩු විභාගය ලබන 22 වනදා කැඳවීමට නියමිතයි.

මේ අතර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'