Logo
2019 ජූලි මස 21 වැනි ඉරිදා

ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි-දිස්ත්‍රීක්ක 8කට නාය යාමේ අනතුරු හැඟවීම්



අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මිල්ලකන්ද , කළු ගඟ සහ ගිං ගඟ යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් එම ගංඟා අවට පහත් බිම්වල සිටින පිරිස් මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස අපදා කළමණාකරන මධ‍්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වීම හේතුවෙන් ගිං ගඟ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට ඇති විය හැකි ගං වතුර තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 ඒ අනුව බද්දේගම, බෝපෙ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල වෙසෙන ජනතාව හදිසි ගං වතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගං වතුර තත්ත්වයක් ඇති වුවහොත් උඩුගම - අකුරැස්ස, ඇල්පිටිය - තවලම, පිටිගල - තවලම සහ උනන්විටිය - මාපලගම යන මාර්ගවල ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද පස්වරු 03.00 සිට පැය 24 ක කාලයක් දිස්ත්‍රික්ක 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

 ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'