Logo

කොටි 150කගේ රතු නිවේදන ආණ්ඩුව හකුළාගනී



 

රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක්‌ නිකුත් කිරීමට වලිකන යහපාලනය රජය දරුණු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව 150ක රතු නිවේදන ඉවත් කරගෙන ඇති බව උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත්කරමින් පෙන්වාදෙයි.

 

පෙබරවාරි 04 දින ඩුබායි හීදී එරට බලධාරීන් මාව රදවාගෙන සිටීමත්, පසුව මුදාහරිමත්      ලංකාවේ කවුරුත් හොදින් දන්නා පුවතකි. ශ්‍රී ලංකා රජය විසින් මට එරෙහිව ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් කිරීමට සුදානම් බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් මා අඩංගුවට ගත්තේය. නමුත් ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් නොකරන බවත් නිකුත්කර ඇත්තේ නිල් නිවේදනයක් බව සනාථ වූ පසු බලධාරීන් විසින් මා මුදා හරින ලදී. නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි පොලිසිය විසින් මෙසේ නිතිය නැමීම ගැන මා කනගාටු වෙමි.

ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මගින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල බිහිසුණු අපරාධ කළ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරම වලට සම්බන්ධ වූවන්ගේ ලැයිස්‌තුවෙන් ත්‍රස්‌තවාදීන් ඇතුළුව 150ට ආසන්න පිරිසකගේ නම් පසුගිය වසරේදී ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත ඉවත්කර ඇති බව මාධ්‍ය තුලින් දැනගැනීම ලැබුණි. අද වන විට ජාත්‍යන්තර ඉන්ටර්පොල් රතු නිවේදන ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව නිකුත්කර ඇත්තේ ලාංකිකයන් තුන්දෙනෙකුට පමණි. දෙමල දේශපාලකයින්ගේ ඉල්ලීම මත එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව 150 ගේ නම් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කල යහපාලනය රජය, රාජපක්ෂ රජයේ සේවය කල නඩුවක්වත් නැති රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව රතු නිවේදනයක්‌ නිකුත්කරන ලෙස ඉන්ටර්පෝල් පොලිසියෙන් අයෑදුමක්‌ කරන ලද්දේ, මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවූ වරදට නිකුත්කල වරෙන්තුවටය. එහෙත් ත්‍රස්‌තවාදීන් ඇතුළු 150ක පිරිස ද උසාවියට ඉදිරිපත් වී නැති නමුත් එම නම් ඉවත්කර ඇත.

 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙවැනි වරටත් කල ඉල්ලීමට අනුව ඉන්ටර්පොල් ආයතනය නිල් නිවේදනයක් නිකුත් කර ඇත. එසේ නමුත් හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන මට එරෙහිව රතු වරෙන්තුවක් ලබා ගැනීමට යහපාලන රජයේ නිළධාරීන් මේ දිනවල අලුත්ම උත්සාහයක නිරත වී සිටින බව අප දනිමු. පොලිස් මුල්‍ය අපරාධ කොට්‌ඨාසය මට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියට බී වාර්තාවක් මගින් දන්වා ඇත්තේ, 2006 දී යුක්රේනියාවෙන් මිග් යානා මිලදීගැනීමට කිසිදු වලංගු ගිවිසුමක් නොතිබූණු බවත්, මම කූට ලේඛනයක් සකසා එයට ගුවන් හමුදාපතිගේ අත්සනත් ලබාගෙන, මිග් යානා මිලදීගැනීමට ගිය මුළු මුදලම වංචා කර ඇති බවයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට ඕනෑම ගොන් කතාවක් ගොතා, පොලිස් බී වාර්තා මගීන් උසාවියට බොරුකියා නඩුවක් පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ හොදම උදාහරණය මෙය වේ.

2006 දී ලංකාව යුක්රේනියාවෙන් මිග් යානා හතරක් මිලදීගත් අතර, ලංකාවට තිබුණු තවත් මිග් යානා හතරක් සම්පුර්ණයෙන් අලුත්වැඩියා කරනු ලැබේ. මේ යානා අටම යුද්ධයෙදී භාවිතා වූ අතර තවමත් ගුවන් හමුදාව සතුව පවතී. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ගිවිසුමක් නැතැයි කියා මුල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට කියා සිටියේ, යුක්රේන්මාෂ් සමාගම වරදිමකින් එවපු ලිපියක් ප්‍රයෝජනයට ගෙනය. පසුව යුක්රේනියානු බලධාරීන් මේ වැරැද්ද නිවරදි කිරීමට පියවර ගෙන තිබුණාත්, පොලිසිය එය උසාවියට වාර්තා කර නොමැත. එමෙන්ම ගිවිසුමට අදාළව ගුවන් හමුදාව නිකුත්කල “භාවිත කරන්නාගේ සහතිකය” උපයෝගී කර යුක්රේනියානු රජය මිග් ගුවන්යානා 8 අපට ලබා දී ඇතිබව එරට බලධාරීන් පිළිගැනීම යනු මෙම ගිවිසුම ඒ රටෙහි භාවිතා වී ඇති බවයි.

මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී යුක්රේන්මාෂ් අධ්‍යක්‍ෂක වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ගේනාධි ස්තුදිනිකින් විසින් 2006 ජූලි මාසයේදී එම ගිවිසුම අත්සන් කල බව හා ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ලංකාවට ගොස්‌ තිබෙන බවද පසුගිය වසරේදී යුක්‌රේන නීතිපති දෙපාර්තමේන්තුවට ඔහු ලබාදුන් කටඋත්තරයේ සඳහන්ව ඇත. නමුත් ගිවිසුම අත්සන්කල එම නියෝජ්‍ය අධ්‍යක්‍ෂකගෙන් ශ්‍රී ලංකා පොලිසිය කටඋත්තරයක් ලබාගෙන නැති අතර යුක්රේනියානු රජයට ඔහු ලබාදුන් කටඋත්තරයේ පිටපත් උසාවියට ඉදිරිපත් නොකිරීම පිළිබඳ සැකය සහිතයි. එසේම මෙම ගුවන්යානා තත්ව පරික්ෂාකිරීමේන් පසු “Factory Acceptance Certificate” ගුවන්හමුදාපති විසින් එම නියෝජ්‍ය අධ්‍යක්‍ෂක සමග යුක්රේනියාවේ ලුවෝෆ් කර්මාන්ත ශාලාවේදී අදාළ සහතික අත්සන් කර ඇත. මා විසින් ගනුදෙනුවට අදාළ ගිවිසුමට කිසිදු අත්සනක් යොදා නැති අතර එම අත්සන් හා ගිවිසුමට අදාළ සියලු වගකීම් ගුවන් හමුදාව භාරගත යුතු අතර ගුවන් හමුදාව ඔහු සමග ඍජු සම්බන්ධයක් තිබු බව හා ගිවිසුම කූඨටලේඛනක් ද යන්න රටට ප්‍රකාශ කල යුතුය.

එසේ නමුත් යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකගේ අත්සන පිළිබඳ, මට එරෙහිව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, දණ්‌ඩ නීති සංග්‍රහයේ 454 හා 457 යන වගන්තිවලට අදාළ කූඨටලේඛන සැකසීමක්‌ කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට වාර්තා කර, මා සැකකරුවකු ලෙස නම් කිරීම හුදෙක් දේශපාලන පළිගැනීමකි. එසේම මෙම ගිවිසුම මා විසින් ලංකාවට රැගෙනවිත් ගුවන් හමුදාපතිගේ අත්සන් ලබාගෙන නැවත රැගෙන ගිය බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සාවද්‍ය තොරතුරු ඉදිරිපත්කර අධිකරණය නොමග යවා මා සැකකරුවකු ලෙස නම් කරන ලදී. නමුත් එම කාලයේදී මා ශ්‍රී ලංකාවට හෝ පැමිණ නැති බව ආගමනය විගමන දත්ත පරික්ෂා කිරීමේන් එයද පොලිසියේ බොරුවක් බව ඔප්පුවන්නේය. මෙම සාවද්‍ය කරුණු දෙක මත අධිකරණය මා සැකකරුවකු කිරීමට එරෙහිව මේ මොහොතේ නිතියෙන්  සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත.

එදා මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුවක්‌ විය. එයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරනු ලැබූ “තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්‌” ද විය. මෙයට අමතරව මෙම ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට මහා භාණ්‌ඩාගාරය ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්‌ පත්කර තිබූණි. එදා මිග් ගනුදෙනුවම පිළිබඳ කටයුතු කල එම කමිටු නිලධාරීන්ගෙන් මෙම විමර්ශන කටයුතු සඳහා අද පොලිසිය සහයෝගය ලබා නොගැනීම ද ප්‍රහේලිකාවකි. එසේ වුවත් මිග් ගිවිසුම යුක්රේන්මාෂ් අත්සන් නොකළ බව මුල්‍ය අපරාධ විමර්ශන ආයතනය චෝදනා කරයි. මිග් ගනුදෙනුවට අදාළ විමර්ෂණ කටයුතු සඳහා කටඋත්තරයක් යුක්රේනියාවේදී ලබා දීමට මම අවස්ථාවක් ඉල්ලා සිටි නමුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊට අවස්ථාවක් ලබා නොදීමෙන් පැහැදිලි වන්නේ, දේශපාලකයින්ගේ නියෝග මත, මා රිමාන්ඩ් කිරීමට රජයට ඇති අවශ්‍යතාවයයි. හිටපු විදේශ ඇමතිවරයා ඇතුළු නියෝජිතයන් විමර්ශන කටයුතු සඳහා යුක්රේනයට කිහිපවාරයක් පැමිණි ඇත.

යුක්රේනියාවේ රාජකාරි සංචාරයකදී රාජ්‍යය නිලධාරියකුට දිනකට ඩොලර් 600 ක් යනු රුපියල් 93,000 ක ගෙවීමක් සිදූකරන බැවින්, මා ගැන සෙවීමට යුක්රේනියාවට දින 7-10 කට පැමිණෙන පොලිස් නිලධාරීන් මගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට කටයුතු නොකර මේ කරන සෙල්ලම කුමක්දැයි කාටවුවත් තේරුම් ගත හැක. පසුගිය දින නිලධාරීන් හත්දෙනෙක් ඩුබායි නගරයට පැමිණියේ ද මා නිදහස්කර ඇති බව හරියටම දැනගැනීමෙන් පසුව ජනතාවගේ බදු මුදලින් තවත් සංචාරයක නිරතවීමට පමණි. මා පිළිබඳ විටින් විට විවිධ තොරතුරු මාධ්‍යයට ලබා දෙමින් මිග් ගනුදෙනුවේ කුමක්‌ හෝ සැක සහිත දෙයක්‌ තිබෙනවාය යන අදහස පවත්වාගෙන යැමට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ දැඩි උත්සාහයක්‌ තිබෙන බව පැහැදිලිය. ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

උදයාංග වීරතුංග –
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 26899
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 27699
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 30230
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 70268

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 131392
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14457348
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14289623
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11863480
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11743768
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11549930
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'