Logo
2020 සැප්තැම්බර් මස 30 වැනි බදාදා

රණවිරුවන්ට නැති ජනපති සමාව කෝටිපති මීනීමරුවෙකුට





රෝයල් පාක්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මරණීය දඬුවම ලබාදුන් ජූඩ් ෂර්මන්ත නමැත්තාට ජීවිත සමාව හිමිවෙමින් විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ඔහුගේ දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක්‌ දක්‌වා ලිහිල් කර තිබේ.

කොළඹ රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජුලි පළමුවැනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූඩ් ෂර්මන්තට මරණ දඬුවම නියම වී තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම කොළඹ මහාධිකරණයේදී පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු ඔහුට දොළොස්‌ වසරක සිර දඬුවමක්‌ නියම කෙරිණි.

එයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජූඩ් ෂර්මන්තට මරණ දඬුවම ලබාදුන් අතර එය මෙරට නීති පොත වෙනස්‌ කළ ඓතිහාසික සිද්ධියක්‌ ද විය.

මරණීය දණ්‌ඩනයට යටත්ව බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට පොදු සමාවක්‌ ලබාදීම පිළිබඳ සලකා බැලීමට පත්කර ඇති විශේෂ කමිටුවේ නිර්දේශය මත රෝයල් පාක්‌ ඝාතනයේ චූදිතයාට ජනාධිපති සමාව හිමි වී ඇත.

එයට අමතරව මහනුවර ප්‍රදේශයේදී අහිගුණ්‌ඨික තරුණියක දූෂණය කර මරා දැමූ අයකුට සහ 1996 වසරේ ගාල්ලේ පුවක්‌ගස්‌හේන ප්‍රදේශයේදී පුද්ගලයන් හත්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක වරදකරුවන් අතරින් එක්‌ අයකුටත් හම්බන්තොටදී මවක සහ දියණියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ දෙදෙනකුගෙන් එක්‌ පුද්ගලයකුට ද එම කමිටුවේ නිර්දේශ මත ජනාධිපති ජීවිත සමාව හිමි වී තිබේ.

මෙරටට මත්කුඩු රැගෙන ආ ජාත්‍යන්තර කුඩු ඒජන්තයකු වන රාසික්‌ බායි නමැති පාකිස්‌තාන් ජාතිකයකුට ද කමිටුවේ නිර්දේශයෙන් ජනාධිපති ජීවිත සමාව ලැබී ඇති අතර බෝගම්බර ප්‍රදේශයේදී සිදුකළ සය පුද්ගල ඝාතනයක වරදකරුවන් දෙදෙනකුට ද එසේ සමාව හිමි වී ඇත.

මොවුනට මෙම ජනාධිපති සමාව හිමි වී ඇත්තේ ඉකුත් වෙසක්‌ පුන් පොහෝදා බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ කමිටුවේ නිර්දේශ මත මේ වන විට මරණීය දණ්‌ඩනය නියම වී සිටි සිරකරුවන් 184 දෙනකුට අදියර තුනක්‌ යටතේ ජීවිත සමාව හිමි වී ඇතත් මරණ දඬුවමට යටත්ව වසර 18-19 ආදී ලෙසින් දීර්ඝ කාලීන සිර දඬුවම් විඳින කිසිවකුටත් මෙතෙක්‌ සමාවක්‌ ලැබී නැත.
 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'